Kadawara Yahana - මහසෝන් යක්‍ෂයා හා මහසෝන් සමයම

මහසෝන් යක්‍ෂයා හා මහසෝන් සමයම

සොහොනෙහිම උපත ලැබ සොහොනෙහිම වාසය කරන නිසා මහ සෝනා යන නාමය ව්‍යවහාර විය.සොහොනේ දමන මල සිරුරු අනුභවය කිරීම මොහුගේ ආහාරය වශයෙන් සැලෙකේ.මොහුට ඇත්තේ වලස් මුහුණකි.දිගට වැවුණු හැඩපලු ගැසුණු කොණ්ඩයක් තිබේ.මහ සෝනා යක්ෂ සේනාධිපතියෙකි.සුදු ඇඳුමක් ඇද සුදු රෙද්දක් පොරව ගෙන සල්ලාලයකු සේ රූමත් කාන්තවන් අතරට යාම ඔහු ප්‍රියකරයි.මහසෝනාගේ උපත පිළිබඳ වූ ජනප්‍රවාදය මෙසේ ය.

රිටිගල ජයසේන යන ගෝඨයිම්බර එකම කතකට පෙම් කළ අතර එම නිසාම මෙම දෙදෙනා අතර බලවත් සටනක් ඇතිවිය.මෙම සටනින් ගෝඨයිම්බර විසින් රිටිගල ජයසේන මරා දැමු බවත්,පසුව රිටිගල ජයසේන මහසෝනා වශයෙන් උපත ලැබු බවත් එම් ජනප්‍රවාදයේ පවසේ.

මහ සෝනට වලස් මුහුණක් ලැබීම ගැනද රසවත් ජනප්‍රවාදයක් ඇත.එළාර රජු පරදවා ජයග්‍රහණය කළ පසු දුටුගැමුණු රජතුමා ජයපානෝත්සවයක් පවත්වන ලදී.එම උත්සවයට පසු ගෝඨයිම්බරද උත්සාවයක් පැවත්විය.මේ සඳහා ඔහුගේ සහෝදර යෝධ මිතුරන් හා සෙසු මිතුරන් පැමිණ සිටියහ.ඔවුන් සැම දෙනාම හොද පදමට බීමත්ව සිටියහ.එම අවථාවේදී මහසෝනා එම නිවස අසලින් යාමට පැමිණියීය.කලක් තමා පෙම් කළ දැනට ගෝඨයිම්බරගේ බිරිඳව සිටින රූමතිය දැකීමත් සමඟ එවෙලෙහිම ඇයට ආවේශ විය.ඇය සිහිසුන්ව බිම ඇද වැටුණි.සිදු වී ඇති දෙය වටහාගත් ගෝඨයිම්බර මහසෝනාට අභියෝහ කළේය.නමුත් ඔඅහුගේ මිතුරන් මැදිහත් වී වෙනත් දිනකට සටන් කිරීමට ගිවිස ගත්හ.ඒ අනුව ඔවුන් දෙදෙනා අතර බිහිසුණු සටනක් ඇතුවිණි.මෙම සටනේදී ද ගෝඨයිම්බරට ජය අත් විය.ගෝඨයිම්බර ගැසූ කඩු පහරකින් මහසෝනාගේ හිස කදෙන් වෙන් විය.එවිට ඔහුගේ හිතවත් වලසෙකුගේ හිසත් කපා මහසෝනාගේ සිරුරට  සවිකොට ඊට ජවය ලබාදීය.කෙසේ නමුත් එම පරාජය වීම හමුවේ මහ සෝනා කන්තාවන්ට වඩාත් ඇලුම් කිරීම නිසාත් ඇයගේ පෙම්බරිය අහිමි වීම නිසාත් කාන්තාවන් පමණක් ලෙඩ කරන බව සඳහන් වේ.


ලංකාවේ පවත්නා අභිචාරාත්මක ප්‍රතිකාර විවිධ වූ ආකාරයට භාවිත වේ. අභිචාර යනුවෙන් හඳුන්වනුයේ අධිභෞතික තත්ත්වයන් පිළිබඳව මිනිසා තුළ ඇති විශ්වාසයන්ය. පවත්නා විශ්වාසයන් අනුව කරන මෙම අභිචාරාත්මක ප්‍රතිකාර ක්‍රමය අතීතයේදී භාවිත වූ ප්‍රධාන රෝග නිවාරණ ක්‍රමයකි. තම සංස්‌කෘතික චර්යාවට අනුව රෝග මූලය හඳුනාගත් පසු මිනිසුන් ඒ හා සම්බන්ධ ප්‍රතිකාර ක්‍රමයන්ට යොමු වෙති.මෙම අභිචාරාත්මක ප්‍රතිකාර ක්‍රම අතීතයේදී බහුලව භාවිත වුවත් නවීන විද්‍යාවේ දියුණුවත් සමග ටිකින් ටික මිනිසා තුළින් ගිලිහෙමින් පවතී. එය එසේ සිදු වුවද අද ද එම ප්‍රතිකාර ක්‍රමවල පිහිට පතන බොහෝ පිරිස්‌ ගම්බද ප්‍රදේශයන් තුළ දැකිය හැකිය.

රෝගී අවස්‌ථාවකදී බටහිර වෛද්‍ය ක්‍රමවල පිහිට පතන පුද්ගලයන් එයින් සුවයක්‌ නොලද අවස්‌ථාවලදී පසුව ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයන්ට මාරු වීම් එයිනුත් සුවයක්‌ නොලද අවස්‌ථාවලදී රෝග මූලය අධිස්‌වාභාවික තත්ත්වයක්‌ බව වටහා ගෙන අංජනම් බැලීම, ජ්‍යෝතිෂ්‍යයේ පිහිට පැතීම මගින් ද රෝග මූලය තහවුරු කර ගනිති. මිනිසුන්ව රෝගී කරවීමේ හැකියාව යක්‍ෂයන්ට ඇති අතර ඔවුන් යක්‍ෂ සේනාධිපති වෙසමුනිගෙන් වරම් ගෙන ඇත. එසේ වෙසමුනිගෙන් වරම්ගෙන මිනිසුනට වින කරන භයානක යකකු ලෙස මහසෝනා හඳුන්වනු ලබයි. මහසෝන් යක්‍ෂයාගෙන් වන අතුරු අන්ත්‍රාවන්ගෙන් අත්මිදීම උදෙසා පහතරට ප්‍රදේශයන්හි පවත්වනු ලබන්නා වූ ශෘන්ති කර්මයකි මහසෝන් සමයම.

මාතර හම්බන්තොට දිස්‌ත්‍රික්‌ක ආශ්‍රිතව ප්‍රචලිත ප්‍රබල ශාන්ති කර්මයක්‌ වූ මෙය සුව කළ නොහැකි තත්ත්වයේ පවත්නා හා මරණාසන්න තත්ත්වයේ සිටින රෝගාතුරයන් වෙනුවෙන් දරහැව සහිතව මහසෝන් සමයම නටනු ලබයි.අති ප්‍රබල යකකු ලෙස පිළිගැනෙන මහසෝනා සෙසු යක්‍ෂයන් මෙන් බැල්ම හෙළීමෙන් පමණක්‌ ලෙඩ ඇති නොකරයි. සොහොන් පලකදී, තොටමුණකදී පාළු කනත්තකදී බලාපොරොත්තු රහිත අවස්‌ථාවක පහරදී ලෙඩ කිරීම මහසෝනාගේ දිෂ්ඨිය හෙළීමේ එක්‌ පිළිවෙතකි. මහසෝනා පහර දුන් විට පහර දුන් ස්‌ථානය නිල් පැහැ ගැන්වී අතේ ඇඟිලි සටහන් පවා පිහිටන බව විශ්වාසයයි. එකී පහර දීමෙන් පසු පිස්‌සු විකාරයෙන් නන් දෙඩවීම ඔල්මාදය, සිහි විකලෙන් දුව පැන ඇවිදීම, ඉදිමීම, කැස්‌ස, කෑම අරුචිය, උදර රෝග, උණ ඇතිවීම රෝග ලක්‍ෂණ බව යකදුරන්ගේ අදහසයි.

කකල් කැසිද ඇගනිය ගෑවිලිද ලෙඩයි

ගුල්මන්දාය නම් වායුත් උරිරු ලෙඩයි

කය දිරවුම් පණ නැති මරණ බඩ ලෙඩයි

මහ යකු ඒ සොහොනේ සිටගෙන කරන ලෙඩයි

මෙකී රෝග ලක්‍ෂණ වලින් මහසෝන් දිෂ්ඨිය බැව් හඳුනා ගන්නා යකදුරන් ඇප නූල් බැඳ මහාසෝන් සමයමක්‌ නැටීමට කටයුතු කරයි.

 

මහසෝනාගේ උප්පත්ති කතා කිහිපයක්‌ සිංහල ශාන්තිකර්ම ක්‍ෂේත්‍රයේ ප්‍රචලිතව ඇත.

පවත්නා වූ එක්‌ කතාවකට අනුව ක්‍රි.පූ. 161-137 ලංකාවේ රජකල දුටුගැමුණු රජ දවස දස මහා යෝධයකු වූ ගොඨයිම්බර වෘතාන්තයට සම්බන්ධ වෙයි. රිටිගල ජයසේන යනු එලාර යුද්ධයේදී ගැමුණු කුමරුන්ගේ ජය පතා යක්‍ෂ සේනාව මෙහෙයවූ යක්‍ෂ සේනාධිපති බව සඳහන් වේ.දුටුගැමුණු රජතුමා විජිතපුර සටනේ ජයග්‍රහණයෙන් පසු උත්සවයක්‌ සංවිධානය කළේය. ගෝටයිම්බර යෝධයාද සිය බිරිඳ වූ සෝනා කුමරිය සමග උත්සවයට සහභාගි විය. මෙම අවස්‌ථාවේ යක්‍ෂයන් පිරිසක්‌ සමග පැමිණි ජයසේන නම් යක්‍ෂයා මහා රූ සපුවකින් හෙබි කුමරිය පිළිබඳ සිතක්‌ පහළ වී ඇයගේ සිරුරට ආවේශ වූ බව පැරණි ග්‍රන්ථයන්හි සඳහන් වේ.

සහස්‌සවත්ථුප්පකරණය, රසවාහිනිය සද්ධර්මාලංකාරය ආදී කෘතිවල සඳහන් අයුරින් ගෝඨයිම්බර තම බිරිඳට ආවේශ වී ඇත්තේ යක්‍ෂාවේශයක්‌ බව වටහා ගැනීමෙන් පසු ඇයගෙන් ඉවත් වී පෙනී සිටිමින් තමා සමග සටනට පැමිණෙන ලෙස අභියෝග කළෙන් එකී අභියෝගයට මුහුණ දීමේදී ජයසේනට ගෝඨයිම්බර විසින් අහසට පැන නිකටට පයින් කළ පහර දීමකදී ජයසේනගේ හිස කඳින් වෙන්වූ බව සඳහන් වේ. අහසේ පාවී ගිය හිස කරඹ ගසක රැඳී ඇති බවත් හිස සුන් සිරුරට සෙනසුරු දෙවියන් විසින් වලස්‌ හිසක්‌ ගෙනවිත් සවිකළ බවත් කියවේ. කලබලයෙන් සවි කිරීමේදී මුහුණ පිටුපසට සිටින සේ සවි වූ බවද සඳහන් වේ. එලෙස පණ ලැබූ රිටිගල ජයසේන හෙවත් මහසෝන් යක්‍ෂයා කළු පාට ශරීරයකින් යුතු යෝධ ඌරු වාහනයකින් ගමන් කරන ඇතුන්ගේ පවාලේ උරා බොන මහසෝන් යක්‍ෂයා බවට පත් විය.

මොහුට අවතාර 5 ක්‌ ඇති බවද සඳහන් වේ. එළුවකු වාහනය කරගත් ලේ සොහොන් යක්‌ෂයා, මුවකු වාහනය කරගත් අමු සොහොන් යක්‍ෂයා, අශ්වයකු වාහනය කරගත් ජය සොහොන් යක්‍ෂයා, බැටළු වාහනය සහිත මරු සොහොන් යක්‍ෂයා යනු මෙම අවතාර වේ. යක්‍ෂයන්ගේ රජු වන වෙසමුනි විසින් මහසෝන් යක්‍ෂයාට මිනිස්‌ හා කුකුළු බිලි පුද ලබාගැනීමට අවසර දී ඇත. මහසෝන් යක්‍ෂයා ගෝඨයිම්බර දැහැනට පමණක්‌ අවනත වන බව යකදුරන්ගේ විශ්වාසය වේ.

මහාචාර්ය ජයසේන කෝට්‌ටගොඩ මහතාගේ පහතරට ශාන්තිකර්ම සාහිත්‍යය ග්‍රන්ථයේ සඳහන් අයුරින් මහසෝන්, අමුසෝන්, ජයසෝන් යනුවෙන් අවතාර තුනක්‌ ද තවත් වරෙක ලේ සෝන්, පුළුටු සෝන්, කඩවර සෝන්, ගොපලු සෝන්, මිනී සෝන් යනුවෙන් පෙර සඳහන් තුන්දෙනකු එකතුව අවතාර අටකින් පෙනී සිටින බව පැවසේ.

භෂ්මාසුරයා සම්බන්ධව පවතින එක්‌තරා හින්දු දේව කතාවක සඳහන් අයුරින් භෂ්මාසුරයා අළු වී ගිය තැන අළු වලින් මහසෝන් උපත ලද බව ඇතැම් තැන්වල සඳහන් වේ.

පහතරට ප්‍රදේශයේ පවත්වන්නා වූ ශාන්තිකර්මයක්‌ වූ මහසොහොන් සමයමේදී මංගර දෙවි ද කලුවැදි දේවතාවාද පිදුම් ලබයි. යකුන් අරභයා පවත්වනු ලබන ශාන්තිකර්ම අතර දෙවියකු වීදි මණ්‌ඩපයට කැඳවා පුද සත්කාර කොට පූජෝපහාර දක්‌වන එකම ශාන්ති කර්මය මහසෝන් සමයමයි.

රුහුණටත් බින්තැන්නටත් ආශ්‍රිත ප්‍රදේශවලට බලපවත්වන්නා වූ දෙවි කෙනකු ලෙස මංගර දෙවියන් ශාන්තිකර්ම ක්‍ෂේත්‍රය තුළ සුවිශේෂී ස්‌ථානයක්‌ හිමි වේ.

ඇල්ලෙන් ඇල්ලට වාස කරනවා

රණබට ඇල්ලේ වාස කරනවා

රණබට ගහ ගෙන නාද කරනවා

ඇල්ලෙන් මංග්‍රා සාමි වඩිනවා

මහසෝන් සමයමේ පූජා විධි රටාව අනුව ත්‍රිවිධ රත්නයට නමස්‌කාර කොට තොවිලය ආරම්භ කෙරේ.

"බුද්ධ, ධම්ම, සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ධෘතරාෂ්ට, විරූඨ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ යන සතර වරම් දෙවියන්ගේ ආනුභාවයෙන් ආඥවෙන් අද මෙතනදී කරන්න යන යාග ශාන්ති කර්මයෙන් සෙතක්‌ ශාන්තියක්‌ අත්වෙනවයි මෙම ශරීරයට වැලඳ තිබෙන්නා වූ සියලු දොaෂාන්ධකාරයන්, යක්‍ෂ දොaස, දෙවි දොaස දූරින් භූත වෙනවයි කියල හිතින් හිතාගෙන පොල්තෙල් පහන අතට අරගෙන ගිහින් ආතුර පන්දලමෙන් වාඩිවෙන්න."

කියා ආරම්භ කරන තොවිලය කලුයකා, බිල්ලේ යකා, ඇතුළු යකුන්ට පිදේනි දී දිෂ්ටි මන්තර යාදින්න කොට ආශිර්වාද කවි, සිරස පාද කවි, ගායනා කොට ආවැඩීම් කර අභිමතා පිදෙන්න, දුම්මල උප්පැත්තිය ගායනා කෙරේ.

ආතුරයා ආවේශ කිරීම

මෙහිදී ආතුරයා ආවේශ වීමෙන් පසු නටවා ප්‍රශ්න කරනු ලැබේ. ආවේශ ආතුරයා යකදුරා අතේ ඇති ඊගසට අවනත වේ. ඇඟට ආරූඪ වී ඇති යක්‍ෂයා විසින් ආතුරයාගේ පාලනය තමා නතුකර ගනී. එතැන් පටන් ආතුරයා කරන කියන සියලු දේ කරනු ලබන්නේ ආවේශ යක්‍ෂයා විසිනි. සමහර අවස්‌ථාවන් වලදී කුකුළා අතට ගන්නා ආතුරයා කුකුළාගේ බෙල්ල කඩා ලේ බොන අවස්‌ථා ද වෙයි. ඉතා වේගවත් බෙර පද නැටුම් වලින් පසු ආතුරයාට සිහිය නැති වී වැටෙන අවස්‌ථා ද වෙයි. පසුව කුකුළා අතට ගන්නා ඇදුරා කුකුළාගේ පිහාටුවක්‌ ගලවා තම හිසේ කෙස්‌ ද පුළුස්‌සා යකුන්ට පුදා ආතුරයා ළඟ කුකුළා තබා සුදු රෙද්දකින් වසා ඒ මත අයිලයක්‌ හා විලක්‌කු පත්තු කර දුම්මල මතුරා දිෂ්ඨි කරනු ලබන අතර මතුරනු ලැබූ දුම්මල කීලක්‌ කුකුළාට ගසනු ලබයි.

යකුන් වෙනුවෙන් පැවැත්වෙන යාග වලදී කුකුළා අනිවාර්ය වෙයි. මෙහිදී රෝගාතුරයා බේරාගනු ලබන්නේ නරබිල්ල වෙනුවට කුකුළු බිල්ල දීමෙනි. කුකුළාගේ ලේ මස්‌ යකුන්ට කැප කර ආතුරයා යකුන්ගෙන් ගලවා ගනී.

මහසෝනා රඟමඬලට පැමිණීමට පෙර උප්පත්ති කවි ගායනා කරති.

දිගු කෙස්‌ වැටියක්‌ සහිතව වලස්‌ මුහුණක්‌ බැඳ දැතින් පන්දම් අතැතිව සභාවට අවතීර්ණ වන යකුගේ ස්‌වරූපය අතිෂය බියකරුය. බෙර පදට නටමින් ආරූඪ දොල පුදා ළඟට පැමිණ ඒවායේ සුවද විඳියි. ඉන් පසු මහසෝන් දිෂ්ඨිය වේගයෙන් ආතුරයා වටා නටයි.

මන්ත්‍ර ජප කිරීම් වලින් පසු මහසෝන් යක්‍ෂයා යකදුරු විසින් අවනත කර ගනී. යකදුරාත් යක්‍ෂයාත් අතර වන සංවාද වලින් පසුව රෝගාතුරයා හැර යන බවටත් එසේ යන විට සලකුණක්‌ තබා යන බවටත් ප්‍රකාශයක්‌ ලබා ගනී. මෙහිදී නියමිත වේලාවකදී හූ තුනක්‌ තියමින් නිවස ආසන්නයේ ඇති ගසකින් අත්තක්‌ කඩාගෙන යන බවට පොරොන්දු වෙයි. මහසෝන් සමයමකදී මෙවැනි සලකුණක්‌ තබා ආතුරයාගේ ඇඟෙන් දිෂ්ඨිය ඉවත් වීම ශාන්තිකර්ම වලදී සත්‍ය වශයෙන්ම සිදුවන සිදුවීමකි.

දිෂ්ඨි මන්තර යාදිනි කන්නලව් උපත් කවි කියා නැටීමෙන් පසු ආතුරයාගේ අතින් පඬුරු ගෙන සියලු දොaශයන් දුරුකොට මුහුණ අත පිස දමා ආතුරයාට ආවඩයි.

අවමංගල පිදේනිය

මේ සඳහා කෙසෙල් පතුරු වලින් මිනී පෙට්‌ටියක හැඩරුවට පෙට්‌ටියක්‌ තනනු ලබයි. පසුව පැදුරේ දැපවිල්ල කොට පැදුර සමයම් නටයි.

දරහැව පුරාල පලට ගෙන යාම

ආතුරයා වෙනුවට යකදුරාගේ ප්‍රාණය ලබාගන්නා ලෙස දක්‌වමින් මිය ගියා සේ යකදුරා සොහොනට රැගෙන යැමත් අඬා වැලපීමත් කෙරේ. සුදු රෙද්දකින් ශරීරය වසාගත් යකදුරා දිෂ්ටි මන්තර කියයි. දෙපතුළ ළඟ ගිනි කබලක්‌ තබා බිත්තර පුළුටු වර්ග බඳියි. ආතුර නිවසේ රෙදිවලින් සාදාගත් පඹයකු ගෙයි මැද තබා අඬා වැලපෙයි. දරහැව පාමුල කුකුළකු තබන අතර දරහැව ලණුවලින් ගැටගසා පුරාල පලට රැගෙන යයි. (වතුර බසින ස්‌ථානයකට හෝ සොහොනකට) මෙසේ අඬා වැලපෙමින් යනවිට ආතුරයා මියගියා යෑයි සිතා යකුන් ද පුරාලය සමග යන බව යකදුරන්ගේ විශ්වාසයයි. පුරාල පලට යන යකදුරන් විසින් මන්ත්‍ර කියා දිෂ්ඨි කර ඉක්‌මනින් නිවසට පැමිණ ආතුරයාත් නිවසත් ආරක්‍ෂා කරනු ලබයි.

ඉන්පසු නිවසේ සෑම අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම දුම්මල කීලි ගසමින් දිෂ්ඨිය එලවා දමයි. අවසානයේ ආතුරයා ආරක්‍ෂා කර නූල් බැඳ නටා දෙවියන්ට පිං දී පින් බෙර ගසා මහසෝන් සමයම ශාන්තිකර්මයේ වැඩ අවසන් කරනු ලබයි.